About

Monday, February 27, 2017

යුද අපරාධ චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය රජය

34 වැනි මානව හිමිකම් සමුළුව අද (27 දා) ආරම්භ වේ.
මෙවර ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධවලට වගකිය යුතු බව දක්‌වමින් ඒ ගැන විමර්ශනය කිරීමට ශ්‍රී ලංකාවට කල්දිය යුතු බවට විශේෂ යෝජනාවක්‌ සමුළුව වෙත ඉදිරිපත් කරන්නේ බ්‍රිතාන්‍ය රජයයි.

එහෙත් ඉරාක යුද අපරාධ සම්බන්ධව බ්‍රිතාන්‍ය හමුදාවට චිල්කොට්‌ වාර්තාවෙන් ඉදිරිපත් වූ චෝදනා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වසන් කරනු ලැබීය.

යුද අපරාධ චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා නැගීම විශ්මයජනකය.

මෙවර ඇමරිකාව වෙනුවට බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට පෙර මෙරට කිසිදු බලධාරියෙක්‌ ලන්ඩන් නුවරට ගොස්‌ අගමැතිනි තෙරේසා මේ සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වූයේ නැත.

එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. එහෙත් මෙරට විදේශ කටයුතු ඇමැතිවරයාගේ අරමුණ වූයේ ජිනීවා යෝජනාව ඉටුකිරීමට කල් ගන්නා බවයි.

මේ තත්ත්වය මත මෙරට ජනතාව රැවටීමේ ප්‍රචාර දියත් විය. ඒ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාව ශ්‍රී ලංකාවට කොළ එළියක්‌ බවයි. එහෙත් සිදුවී ඇත්තේ කුමක්‌ද? ජිනීවා යෝජනාවේ අන්තර්ගතය දෙස විමර්ශනය කරන විට එය භයානක යෝජනාවකි.

මේ යෝජනාවෙන් මුළු ආරක්‍ෂක හමුදාවම ප්‍රතිසංවිධානයට ලක්‌කළ යුතු බවටත් ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු බවටත් දන්වා ඇත.

එසේම ජිනීවා යෝජනාවට මුවාවී මානව හිමිකම් කොමසාරිස්‌වරයා මෙරට ජාතික ආරක්‍ෂාවට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සහ දේශපාලනය යන කරුණුවලට බරපතළ ලෙස මැදිහත් වී ඇත.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට මෙරට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට මැදිහත්වීමේ හිමිකමක්‌ මානව හිමිකම් විෂය පථයෙහි නැත.

එය ඔහුගේ බලතල ඉක්‌මවා යැමකි. මේ හැර මෙරට අපරාධ සම්බන්ධයෙන් ද ඔහු මැදිහත්වී ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලනික අපරාධ ගැන විමර්ශනය කරන්නේ නැත. වසර 40 ක්‌ තිස්‌සේ සිදු වූ අපරාධ ගැන සෙවිය යුතු වේ.

එහෙත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා කොටි සිදුකළ යුද අපරාධ 340 කට අධික සංඛ්‍යාවක්‌ ගැන නිහඬව සිටී. එසේම ජිනීවා යෝජනාවට මුල් වූ සාක්‍ෂිකරුවෝ කවුරුන්ද? ඒ බිහිසුණු අපරාධ සිදුකර මෙරටින් පැනගිය කොටි ත්‍රස්‌තයන් 50 කට අධික පිරිසකි. මේ පිරිස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ බොරු සාක්‌කි දී ඇත. එම සාක්‌කි මෙහෙයවා ඇත්තේ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකයි.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. සුමන්තිරන් ජිනීවා ගොස්‌ විදේශ තානාපතිවරු සහ මානව හිමිකම් කවුන්සලයේ නිලධාරීන් හමු වී ජිනීවා යෝජනාව සංශෝධනය කිරීමට හෝ කල් දැමීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා ඇත.

සුමන්තිරන්ගේ ඉල්ලීමට රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව හා ගෝලීය ද්‍රවිඩ සංසදය සහය දක්‌වා තිබේ. එහෙත් මෙරට බහුතර ජනතාව මේ සිදුවීම් ගැන නොදනී.

මෙම ජිනීවා යෝජනාව සංශෝධනය කිරීමට හෝ ඉවත් කර ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් හමුවීමට පවා විදේශ කටයුතූ අමාත්‍යාංශය ඉදිරිපත් වූයේ නැත.

රජයේ යාන්ත්‍රණය නිහඬව සිටියදී ජිනීවා ගිය ඊළාම් ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව විදේශ තානාපතිවරු හමුවේ බලපෑම් කිරීමට කටයුතු කර තිබේ.

එසේම සිය ඊළාම් ඩයස්‌පෝරාවේ හැකියාව පිළිබිඹු කිරීම සඳහා මාර්තු 3 දා ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්‌ දියත් කිරීමට ද කටයුතු කර ඇත.

මෙම තත්ත්වය බලා සිටීමට නොහැකිව ශ්‍රී ලංකා රජයේ සහයක්‌ නැතිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මාර්තු 22 දා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්‌ ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර පසුගිය සඳුදා හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා මානව හිමිකම් සමුළුවට තවත් සාවද්‍ය වාර්තාවක්‌ ඉදිරිපත් කළාය. එහි දක්‌වා තිබුණේ ශ්‍රී ලංකා හමුදාව උතුරේ ස්‌ත්‍රී දූෂණ කඳවුරු පවත්වාගෙන යන බවයි.

ඇය මේ වාර්තාව ඉදිරිපත් කර තිබුණේ උතුරේ ස්‌ත්‍රී දූෂණ සිදු වූ බවට කිසිදු පොලිස්‌ පැමිණිල්ලකින් තොරවය.

එහෙත් ඇගේ වාර්තාව ද මානව හිමිකම් සමුළුව හමුවේ සාකච්ඡාවට ගැනීමට නියමිතය.

යස්‌මින් සුකා සිය වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා රජය පොරොන්දු වූ පරිදි ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කර නැති බවත් ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණයට ලක්‌කර නැතැයි ද සඳහන් කර තිබේ.

මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු කල්ලිය බලයෙන් විසිවී ඇත. ඒ ජිනීවාහි තානාපති කොයින් හාපර්, සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්‌වාල් සහ ටොච් ටලි ගෝමස්‌ කීය.

මොවුන් ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි පිළිවෙතක්‌ අනුගමනය කරනු ලැබීය. එහෙත් ලැබී ඇති වාසිසහගත තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළේ නැත.

එවන් පසුබිමක්‌ මැද බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත් කරන යෝජනාවට අභියෝග කිරීමට ද ශ්‍රී ලංකාව ඉදිරිපත් වී නැත.

එහෙත් රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට නියෝජිතයන් යවා ශ්‍රී ලංකාවේ හමුදාව මිනීමරුවන් බවට පෙන්වීමට උත්සාහ කර ඇත.

ඊට ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ද ජිනීවා ගොස්‌ විදේශ තානාපතිවරුන් සහ මානව හිමිකම් සමුළු ප්‍රධානීන් හමුවී ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව කටයුතු කර තිබේ.

එහෙත් හිටපු කොටින්ගෙන් ආරක්‍ෂා වීම සඳහා ඔහු එම හමුදාවෙන්ම රැකවලුන් ලබාගෙන ඇත.

මෙම තත්ත්වය මත එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලින් හමුදාව බේරාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක්‌ දියත් වී නැත.

ඒ සඳහා කරුණු රැසක්‌ ඇත.
  • ඒ ඝාතනයට ලක්‌වූවෝ කවුරුන්ද සහ ඔවුන්ගේ නම් ගම් සහ පදිංචිව සිටින ස්‌ථාන කුමක්‌ද?
  • එසේම විදේශ රටවල් විසින් දේශපාලන රැකවරණ ලබාදී ඇති හිටපු කොටි ක්‍රියාකාරීන් කවුරුන්ද?
  • මේ හැර හමුදාවට එරෙහිව සාක්‌කි දෙන අබිරහස්‌ සාක්‌කිකරුවන් කවුරුන්ද?
මේ කරුණු ගැන මානව හිමිකම් සමුළුව හමුවේ අභියෝගයට ලක්‌කර නැත.

එසේම යුද අපරාධ චෝදනා එල්ල කරන පැමිණිලිකරුවන් කවුද? ඒ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයි.

Monday, February 20, 2017

සුමන්තිරන් ඝාතනය

සුමන්තිරන් ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව හින්දු පත්‍රයේ සඳහන් වෙලා. එය ඇත්තක් ද බොරුවක් ද කියන්න අප දන්නේ නැහැ. එය ඇත්තක් වුවත් බොරුවක් වුවත් සුමන්තිරන් වීරයකු කිරීමේ වුවමනාවක් නම් තියෙන බව පැහැදිලියි. ජාතික හෙළ උරුමයත් එයට හවුල් වෙලා. ඔවුන්ටත් සුමන්තිරන් වීරයකු කිරීමට අවශ්‍යයි. දෙමළ ජාතික සංධානයේ විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් ඔවුන්ට පොදු මතයක් තියෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට නොහැකි නම් දුර්වල කිරීම. සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට උතුරු හා නැගෙනහිර පළාත් අහිමි කිරීම. නාගදීපය සිංහල බෞද්ධයන්ට අහිමි කිරීම, සොළොස්මස්ථානයෙන් නාගදීපය ඉවත් කිරීම.

පැරණි රජවරු නවවරක් බුදුසසුනට පූජා කෙළේ මුළු රටමයි. එයින් වත්මන් නැගෙනහිර පළාත හා උතුරු පළාත ඉවත් කර නැහැ. නාගදීපය ඉවත් කර නැහැ. පැරණි රජවරු නවවරක් බුදුසසුනට රට පූජා කිරීමේ දී නාගදීපයත් තිරියායත් සේරුවිලත් ඒ සමග බුදුසසුනට පූජා කළා. දෙමළ ජාතිවාදීන් ඒ සියල්ල සිංහල බෞද්ධ සංස්කෘතියට අහිමි කිරීමට සැරසෙනවා. පෝදාට පන්සල් යන වට වන්දනාවේ යන සිංහල බෞද්ධයන්ට නාගදීපය වැඳීමට අවශ්‍ය නැද්ද? සුමන්තිරන් දෙමළ මෙතෝදිස්ත බැතිමතෙක්. ඔවුන් සියළු දෙනා උතුරු හා නැගෙනහිර පළාත්වල බුදුපිළිම වහන්සේ තැනීමට විරුද්ධයි.

මේ නවවරක් බුදුසුනට පූජා කළ බිමේ බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට කිසිවකුටවත් විරුද්ධවන්න බැහැ. ඒ සඳහා කිසිවකුගෙන්වත් අවසර ගන්න වුවමනාත් නැහැ. ඉංගිරිසින් පවා ඒ අයිතියට ගරු කළා. දහනවවැනි සියවසේ ඉංගිරිසින් පැන වූ නීතියකට අනුව බෞද්ධ සිද්ධස්ථාන හැර වෙනත් ආගමික සිද්ධස්ථාන තැනීමේ දී ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතුයි. එහෙත් බෞද්ධ සිද්ධස්ථාන තැනීමට එසේ අවසරයක් සුද්දගේ කාලයේවත් ගැනීමට අවශ්‍ය වුනේ නැහැ.

එ සුද්දගේ කාලයේ දී. දැන් තියෙන්නෙ ජාතික හෙළ උරුමයේ ඊනියා යුග පෙරළි කාරයන්ගේ සහභාගීත්වයෙන් ද ගොඩ නැගුණු (ඔවුන් ගොඩ නැගූ නොව) රනිල්ගෙ කාලය. එය සිංහල බෞද්ධයන්ගෙ නරක කාලය. අද බෞද්ධ නොවන ආගමික සිද්ධස්ථාන ගොඩ නැගීමට අවසර ගන්න ඕන නැහැ. එහෙත් බෞද්ධ සිද්ධස්ථාන ගොඩ නැගීමට උතුරු පළාත් සභාවේ අවසරය ගත යුතුයි. ඒ අතර උතුරු හා නැගෙනහිර පළාත්වල බුදුපිළිම වහන්සේ කඩා දමනවා. ජාතික හෙළ උරුමයේ භික්‍ෂූන් වහන්සේ ද ගිහියන් ද බලා ඉන්නවා.

දෙමළ ජාතික සංධානයත් එහි සාමාජික පක්‍ෂත් උතුරු නැගෙනහිර පළාත් එක් කරන ලෙස ඉල්ලනවා. ඔවුන් ඒ පළාත්වල බුදුපිළිම වහන්සේ තැනීමට විරුද්ධයි. දහතුනට එහා යන බලතල පළාත් සභාවලට ඉල්ලනවා. ඉඩම් හා පෙලිස් බලතල ක්‍රියාත්මක කරන ලෙස උද්ඝෝෂණය කරනවා. සුමන්තිරනුත් මේ සියල්ල ඉල්ලනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමටයි.  අද පාර්ලිමේන්තුවේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානියා සුමන්තිරන්.  ජාතික හෙළ උරුමය නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට උත්සාහ කරන සුමන්තිරන් වීරයකු කරන්න හදනවා.

ජාතික හෙළ උරුමයට අනුව සුමන්තිරන් ආයුධ අතට අරන් නැහැ. එබැවින් ඔහු ආරක්‍ෂා කළ යුතු බව ද ඔවුන් පවසන්නේ. සුමන්තිරන් ඝාතන සැලැස්මක් තිබුණත් ඒ කවුරුන් දැයි අපට ඇඟිල්ල දික් කර කියන්න බැහැ. ඒ අය ආයුධ සන්නද්ධ අරගලයක් ගැන හිතනවා ඇති.  ඒ කවුරු වුනත් අපට කීමට ඇත්තේ සුමන්තිරන්ගේ පක්‍ෂය කොටි සංවිධානයේ පාර්ලිමේන්තු නියෝජිතයන් වූ බවයි.   දෙමළ ජාතික සංධානයත් එහි සාමාජික පක්‍ෂත් දිගින් දිගට ම කොටි සංවිධානය ආරක්‍ෂා කළා. අදත් ආරක්‍ෂා කරනවා. සුමන්තිරන් රණවිරුවන් දඩයම් කිරීමේ මූලිකයෙක්. ඔහු රණවිරුවන් දඩයම් කිරීමට ජාත්‍යන්තර විනිශ්චයකරුවන්  ඉල්ලන ප්‍රධානියා. ඔහු එමගින් කරන්නේ කොටි ආරක්‍ෂා කිරීමයි.

කොටි සංවිධානය යනු 1833 ආරම්භ වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ අවසාන පුරුක. ඔවුන් ඇතැම් විට වෙනත් දෙමළ ජාතිවාදී සංවිධානවල නායකයන් ඝාතනය කළා. එයින් කියැවෙන්නේ කොටි සංවිධානයට අනෙක් අය අනුගමනය කළ ක්‍රියාමාර්ග වැරදි වූ බව පමණයි. දේශපාලන අරමුණේ වෙනසක් තිබුණේ නැහැ. කොටි ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය කිරීමෙන් ඇරඹූ දේශපාලක ඝාතන අමිර්තලිංගම්, තිරුචෙල්වම් ආදීන්ට ද ගෙන ගියා. කොටි සංවිධානය බිහිවූයේ අමිර්තලිංගම්ලාගේ තුරුල්ලේ.

අද උතුරු පළාතේ ආයුධ සන්නද්ධ කල්ලි ඇත්නම්  එයටත් වග කිවයුත්තේ  සුමන්තිරන්ලා හා ආණ්ඩුව. බුද්ධි අංශය මර්දනය කිරීමට උනන්දුව දක්වන සුමන්තිරන්ලා හා රනිල්ලා ආයුධ සන්නද්ධ දෙමළ ජාතිවාදීන් බිහි කිරීමට අනියමින් හරි උදවු කරනවා. ආයුධ සන්නද්ධ පිරිසක් සුමන්තිරන් ඝාතනය කිරීමට උත්සාහ කරනවා නම් ඒ දිට්ඨධම්ම වේදනීය පාප කර්මය පලදීමක්.

රනිල් ජාතික හෙළ උරුමය සමග සුමන්තිරන් වීරයකු කිරීමට උත්සාහ කරන්නේ අවසානයේ දී සුමන්තිරන් ඉල්ලන දේ යුක්තියුක්ත කිරීමටයි. එමගින් උතුරු හා නැගෙනහිර පළාත් සිංහලයන්ට අහිමි කිරීමටයි. මෙය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක මුවාවෙන් කරන පාවාදීමක්. දෙමළ මෙතෝදිස්ත සුමන්තිරන් වීරයකු කිරීම සිංහල බෞද්ධ අයිතිවාසිකම් පාවාදීමක්. අපට සුමන්තිරන් වීරයකු කිරීමට අවශ්‍ය නැහැ. අප කළ යුත්තේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට කරන සියලු වෑයම් පරාජය කිරීමයි.

Tuesday, January 31, 2017

මහ බැංකුවට ත්‍රස්‌ත ප්‍රහාරය එල්ලවී

1996 ජනවාරි 31 දා කොටුවේ මහ බැංකුවට එල්ලවූ කොටි ත්‍රස්‌ත ප්‍රහාරයෙන් 100 කට අධික පිරිසක්‌ මරුමුවට පත් විය. මෙම බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරය සිදුවී අදට වසර 21 කි. එම ප්‍රහාරයෙන් මහ බැංකුවේ නිලධාරීන් හා නිලධාරිනියන් 41 ක්‌ මැරමුවට පත්වූ අතර තවත් පිරිසක්‌ සදහටම අන්ධ විය. මහබැංකුවට ප්‍රහාර එල්ල කරන ලෙස නියෝග කළ ඝාතක ප්‍රභාකරන් සහ ඒ සඳහා සැළසුම සකස්‌ කළේ අමීන් මාස්‌ටර්ය.

කීර්ති වර්ණකුලසූරිය



Sunday, January 8, 2017

CIA ලංකාවට එයි


ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ඩොලර් මිලියන 1.7 ක මුදලක්‌ ලබාදීමට ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය තීරණය කර ඇත. ඔවුන් මෙම මුදල ලබාදෙන්නේ යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙන ක්‍රියාවලියක්‌ සකස්‌ කිරීම සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා එම ක්‍රියාවලිය හරහා දණ්‌ඩනයට යටත් කිරීම යන කාර්ය සඳහාය.


කීර්ති වර්ණකුලසූරිය

Wednesday, December 28, 2016

බුද්ධ ශාසන ඇමති මහරගම ප්‍රාගඳයාට සෙනෙවිරුවන්ගෙන් න්‍යාය පත්‍රයක්

යහපාලන රජයේ බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍ය ධූරය ලැබූ විජේදාස රාජපක්ෂ මහරගම ප්‍රාගඳයා මහතා ලංකාව සිංහල රටක් යැයි නොපිළිගන්නෙකි.

තම නිල රාජ කාරිය භාරගෙන දීර්ඝ නින්දකින් පසු අවදිව සිටින ඔහු දැන් භික්ෂූන් වහන්සේලා මුණ ගැසෙමින් බෞද්ධයාගේ ප්‍රශ්ණ විසඳන්නට සාකච්ඡා කරමින් සිටී. පසුගියදා පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි, පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමි ආදී මහා සංඝ රත්නය පෙරටු කොට ඔහු වත්මන් ජනාධිපතිවරයා හමු විය. එහිදී දැනට පුරා වස්තු වශයෙන් පවතින බෞද්ධ සිද්ධස්ථාන වලට අත්ව ඇති ඉරණම පිළිබද ගැඹුරින් සාකච්ඡා කර තිබේ. මෙම අවස්ථාවට පැමිණ සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා වෙත මේ සියළු විනාශයන් ගැන වැරදි පටවා ඇති බවද අසන්නට ලැබිණ.
සෙනෙවිරුවන්

Thursday, December 15, 2016

මාගම්පුර කෝළම


"මේ රටේ මාධ්‍යකරුවන් සදාචාර සම්පන්න නැත. මාධ්‍ය ආචාර ධර්ම පිළිපදින්නේ නැත. ඒ නිසාම විවිධ පුද්ගලයන් සමග ගැටුම් ඇතිවීම ගැන මේ ආණ්‌ඩුවට කරන්නට දෙයක්‌ නැත."

නාවික හමුදාපතිවරයා අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිමින් පැමිණ මාධ්‍යවේදියකුගේ හොම්බ කට සමතලා කරන ආකාරය වීඩියෝ දර්ශන, ඡායාරූප සාක්‍ෂි සහිතව පෙනෙන්නට තිබියදීත්, දැන් කියෑවෙන්නේ ඉහත අප පෙන්වා දී ඇති ආකාරයේ කතාවකි.


ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට අනුව නිශ්චිතවම සිදුව තිබෙන්නේ එයයි. ඒ නිසාම තම අත්සනින් යුතුව ලිපියක්‌ද නිකුත් කරමින් ඔහු ඒ බව කියා සිටී. දැන් ස්‌ථිර ලෙසම වරද ඇත්තේ මාධ්‍යවේදීන් අතේ බව ඔප්පු වී තිබේ. මේ රටේ මාධ්‍යකරුවන් මාධ්‍ය කලාව නොදන්නා ගොන් මැට්‌ටන් පිරිසකි. ඒ එකදු මාධ්‍යකරුවෙකු හෝ සිදුවීමක්‌ වාර්තා කරන්නට දන්නේ නැත. සදාචාරාත්මක නැත. එහෙම සදාචාරයක්‌ තිබුණා නම් කිසිවිටෙකත් කොට කලිසමක්‌, කබල් ටී ෂර්ටයක්‌ ඇඳ රා බිව් නාලාගිරියකු සේ තිත්ත කුණුහරුප දෙසමින් එන නාවික හමුදාපතිවරයා ඡායාරූපගත කරන්නට යන්නේ නැත.


මේ මාධ්‍යකරුවන්ට සදාචාරයක්‌ තිබුණා නම් කළ යුතුව තිබුණේ නාවික හමුදාපතිවරයා සම්පූර්ණ නිල ඇඳුමින් සැරසී සිල් සමාදන් වන අවස්‌ථාවක්‌ සොයා බලා ඡායාරූපගත කර ඒවා පත්තරවල මුල් පිටුවේ පළ කිරීමත්, රූපවාහිනි නාලිකාවල ප්‍රමුඛ පුවත ලෙස ගැනීමත්ය. සදාචාරාත්මක ලෙස හැසිරෙනවා යෑයි කියන්නේ ඒ ක්‍රමයට බව රංග කලන්සූරිය ලිපියකින් දන්වා එවන විට අප කොතරම් ලැඡ්ජාවට පත්විය යුතුද?


දැන් රට පුරා සිටින මාධ්‍යකරුවන් සියලු දෙනාටම අමුතු කුලප්පුවක්‌ සෑදී තිබේ. ඒ අය නාවික හමුදාපතිවරයාට ඉල්ලා අස්‌වන්නට යෑයි කියමින්ද, ඔහු තනතුරෙන් ඉවත් කරන්නට යෑයි ආණ්‌ඩුවට බල කරමින්ද රට පුරාත්, හම්බන්තොටත් උද්ඝෝaෂණ දියත් කරමින් සිටිති. මේවා මෝඩ වැඩය. කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු ත්‍රස්‌තවාදීන් ලෙස ක්‍රියාකළ උද්ඝෝෂකයන්ගෙන් ජාත්‍යන්තර නැව් කිහිපයක්‌ මුදාගනිමින්ද වරාය කටයුතුවලට සහාය දෙමින්ද නාවික හමුදාපතිවරයා සිය සෙබළ බලඇණිය සමග කළ සහ කරනු ලබන මෙහෙය මේ ලපයි සිපයි මාධ්‍යකරුවන්ගේ කතාවලින් තක්‌සේරු කරන්නට බැරි බව කාට කාටත් මතක්‌ කර දිය යුතුය.


අප සතුටු විය යුත්තේ නාවික හමුදාපතිවරයා තමන්ගේ "තරම" ගැන නිsසි අවබෝධයකින් සිටීම ගැනය. ඔහු පසුගිය 12 වැනිදා "දිවයින" පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ "මම මාධ්‍යවේදියකුට පහර දුන්නා නම් ඔහු රෝහල්ගතව සිටින්නට ඕනෑ" බවයි. අවිචාරවත් ලෙස හැසිරුණු මාධ්‍යවේදියකුගේ මුහුණ දෙකම්මුල් පිරිමදිමින් ඔවදන් දුන් නාවික හමුදාපතිවරයා හෑල්ලුවට ලක්‌කිරීම මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කිරීමකි.


මෙවැනි තුට්‌ටු දෙකේ වැඩ නාවික හමුදාවේ (නාවික හමුදාපතිගේ) රණවිරු නමට පවා හොඳ නැති බව මාධ්‍යකරුවන් කල්පනා කළ යුතුය. "රැහේ උන්ගේ" මෙවැනි නොපනත්කම් ගැන ජනාධිපතිවරයා තවදුරටත් කල්පනා කළ යුතු අතර රංග කලංසූරිය වැනි මාධ්‍ය ආචාරධර්ම දන්නා විශිෂ්ටයන් ලවා ගැටුමකදී ගුටි නොකා තොරතුරු වාර්තා කරන ආකාරය ගැන වැඩමුළු පැවැත්විය යුතුය.

Thursday, December 8, 2016

සොරි ඩෝ! - රනිල් වික්‍රමසිංහ

එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පැවැති කාලයේ යාපනය පුස්‌තකාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බව වත්මන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශකර තිබිණි. යාපනය පුස්‌තකාලය ගිනි තැබීම බලවත් අපරාධයක්‌ බව රහසක්‌ නොවේ. කිහිපදෙනකුගේ අමන ක්‍රියාවෙන් ජාතියටම නින්දාවක්‌ අත්විය. යාපනය පුස්‌තකාලය ගිනි තැබීම ගැන සමස්‌ත ජාතියම ශෝකයට පත් විය.

Wednesday, November 30, 2016

නව ව්‍යවස්‌ථාවට එරෙහි මහජන විරෝධය මැඬපැවැත්වීම සඳහා ද සංහිඳියා පොලිසිය

නොවැම්බර් 08 වැනිදා පැවැති ඇමැරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීම ලෝක දේශපාලනය උඩු යටිකුරු කිරීමට සමත් වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ හරහා ජාතිකවාදී දේශපාලන රැල්ලක්‌ ලොව පුරා හඹායන බවට පැහැදිලි ඉඟියක්‌ පළ විය. හිලරි ක්‌ලින්ටන් රුසියානු හමුදා සිරියාවේ ප්‍රශ්නයට මැදිහත්වීම හෙළා දකිද්දී ට්‍රම්ප් ප්‍රකාශ කළේ කුමක්‌ද?. ජනපති පුටින් සමඟ එක්‌වී අයිසිස්‌ ත්‍රස්‌තවාදීන් සහමුලින්ම තුරන් කිරීම සඳහා කටයුතු කරන බවයි. මුස්‌ලිම් වර්ගවාදය පිළිබඳ කනස්‌සල්ලෙන් පසුවන ඇමරිකානු සුදු ක්‍රිස්‌තියානීන්ට ට්‍රම්ප්ගේ ප්‍රකාශ ආශීර්වාදයක්‌ විය. ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන උපදේශකයකු වූයේ හිටපු නාවික නිලධාරියකු වූ ස්‌ටීවන් කේ බැගන් ය. නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත ප්‍රකාශ කරන්නේ ඔහු සුදු ජාතිවාදියකු බවයි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් තම උපදේශකයා වෙනුවෙන් පෙනී සිටියි.


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට්‌ මණ්‌ඩලයේ ප්‍රමුඛ තනතුරක්‌ මොහුට හිමිවන බව දැනටමත් මාධ්‍ය වාර්තා ඔස්‌සේ පළ වී ඇත. කෙසේ නමුත් ඉදිරියේදී ලෝක දේශපාලනය තුළ ජාතිකවාදීත්වයට විශේෂ තැනක්‌ හිමිවන බව නම් රහසක්‌ නොවේ. එහෙත් ලංකාවේ සිදුවන්නේ කුමක්‌ද?



චතුර පමුණුව

Tuesday, November 29, 2016

කුප්පි ලාම්පුව සුදානම් කර ගන්න

2018 සිට නොනවතින විදුලි කැපුම හා අධික මිල වැඩි කිරීම දැන් ස්‌ථිරයි.


අද රටේ විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 17 යි.
  • 2013 මැයි මාසයට පසු ඔබගේ විදුලි බිල වැඩි වූයේ නැහැ නේද?
  • එය 2014 අගදී 25% කින් අඩුවුනා නේද?
  • එයට හේතුව රුපියල් 22 ට විදුලිය නිපදවන ඩීසල් බලාගාර වෙන්න බැහැනේ. රුපියල් 20 ට දරවලින්, සුළං බලයෙන් නිපදවන විදුලිය වෙන්නත් බැහැනේ. මෑතදී දියත් කළ සූර්ය බල සංග්‍රාමයෙන් රු 22 ට නිපදවන විදුලිය වෙන්නත් බැහැ නේද?
  • අද රටේ විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 17 යි. විදුලිය නිපදවන බෙදාහරින ආයතන විදුලිබල මණ්‌ඩලය හා විදුලි සමාගම දැන් රජයට බරක්‌ නැහැනේද?
  • ඒ ආයතන යක්‍ෂයින් රාක්‍ෂයින් හැටියට ඒ කාලේ වගේ අමුණුගම ඇමැති දැන් හඳුන්වන්නේ නැහැ නේ?
  • ඉතින් රහස කොහේද? රට පුරාම මාස හතරකින් වැසි නැත. නමුත් විදුලිය කැපුමක්‌ නැත. ඉස්‌සර නම් මේ වෙනකොට නැති වැස්‌සට බැනලා විදුලිය කපලා. නැතහොත් ඩීසල් බලාගාර කුලියට අරන් ඩීසල් වලට අති වීශාල මුදල් ගෙවා ආර්ථිකයටත් හානි කරගෙන, මුදල් ඉවර වූ තැන විදුලියත් කපලා. ඉතින් රහස කොහෙද?
  • ඒක තියෙන්නෙ නොරොච්චෝලෙ. ඉතින් මෙම තත්ත්වය දිගටම පවතීද?

ආචාර්ය තිලක්‌ සියඹලාපිටිය

විදුලි ක්‍ෂෙත්‍රය විනාශ කිරීමේ අට වැදෑරුම් වැඩපිළිවෙළ


Monday, November 28, 2016

එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

යුද සමයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ආබාධිත වූ රණවිරුවන් පිරිසක්‌ තමාට හිමි විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය. ඔවුන්ට තම ඉල්ලීම් දිනාගත හැකි වූයේ කඳුළු ගෑස්‌, ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර සත්කාරයකට මුහුණදෙමින් බරපතළ පීඩාවකට ලක්‌ වෙමිනි.


එහිදී යම් ආරක්‌ෂක හමුදා සාමාජිකයෙක්‌ විසින් සිදුකළ අමානුෂික පහරදීමක්‌ නිසා එක්‌ රණවිරුවකුට තම එකම ඇස අහිමි විය. ඔහුගේ අනෙක්‌ ඇස ප්‍රභාකරන් විසින් උදුරාගෙන තිබුණි. ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් පමණක්‌ නොව නඩු පැවරීම සහ වෙනත් විවිධ ක්‍රමවේද හරහා පීඩාවට ලක්‌වන රණවිරුවන්ගේ ගැටලු විසඳීමට යහපාලන ආණ්‌ඩුව මැළිකමක්‌ දක්‌වන බව ඉතා පැහැදිලිව පෙනේ. කෙසේ වෙතත් රට තුළ සිටියානම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක්‌ ඇති නොවන බව එතුමා විසින්ම ප්‍රකාශ කිරීම තුළ යහපත් ප්‍රවණතාවක්‌ දක්‌නට ඇත. අපේ රටේ තත්ත්වය එසේ වුවත් අපට උපදෙස්‌ දෙන බ්‍රිතාන්‍යයේ තත්ත්වය නම් මෙසේය.

කේ. එම්. වසන්ත බණ්‌ඩාර