About

Monday, February 27, 2017

යුද අපරාධ චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය රජය

34 වැනි මානව හිමිකම් සමුළුව අද (27 දා) ආරම්භ වේ.
මෙවර ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධවලට වගකිය යුතු බව දක්‌වමින් ඒ ගැන විමර්ශනය කිරීමට ශ්‍රී ලංකාවට කල්දිය යුතු බවට විශේෂ යෝජනාවක්‌ සමුළුව වෙත ඉදිරිපත් කරන්නේ බ්‍රිතාන්‍ය රජයයි.

එහෙත් ඉරාක යුද අපරාධ සම්බන්ධව බ්‍රිතාන්‍ය හමුදාවට චිල්කොට්‌ වාර්තාවෙන් ඉදිරිපත් වූ චෝදනා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වසන් කරනු ලැබීය.

යුද අපරාධ චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා නැගීම විශ්මයජනකය.

මෙවර ඇමරිකාව වෙනුවට බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට පෙර මෙරට කිසිදු බලධාරියෙක්‌ ලන්ඩන් නුවරට ගොස්‌ අගමැතිනි තෙරේසා මේ සමඟ සාකච්ඡාවක්‌ පැවැත්වූයේ නැත.

එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. එහෙත් මෙරට විදේශ කටයුතු ඇමැතිවරයාගේ අරමුණ වූයේ ජිනීවා යෝජනාව ඉටුකිරීමට කල් ගන්නා බවයි.

මේ තත්ත්වය මත මෙරට ජනතාව රැවටීමේ ප්‍රචාර දියත් විය. ඒ බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාව ශ්‍රී ලංකාවට කොළ එළියක්‌ බවයි. එහෙත් සිදුවී ඇත්තේ කුමක්‌ද? ජිනීවා යෝජනාවේ අන්තර්ගතය දෙස විමර්ශනය කරන විට එය භයානක යෝජනාවකි.

මේ යෝජනාවෙන් මුළු ආරක්‍ෂක හමුදාවම ප්‍රතිසංවිධානයට ලක්‌කළ යුතු බවටත් ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කළ යුතු බවටත් දන්වා ඇත.

එසේම ජිනීවා යෝජනාවට මුවාවී මානව හිමිකම් කොමසාරිස්‌වරයා මෙරට ජාතික ආරක්‍ෂාවට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සහ දේශපාලනය යන කරුණුවලට බරපතළ ලෙස මැදිහත් වී ඇත.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට මෙරට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට මැදිහත්වීමේ හිමිකමක්‌ මානව හිමිකම් විෂය පථයෙහි නැත.

එය ඔහුගේ බලතල ඉක්‌මවා යැමකි. මේ හැර මෙරට අපරාධ සම්බන්ධයෙන් ද ඔහු මැදිහත්වී ඇත.

ශ්‍රී ලංකාවේ දේශපාලනික අපරාධ ගැන විමර්ශනය කරන්නේ නැත. වසර 40 ක්‌ තිස්‌සේ සිදු වූ අපරාධ ගැන සෙවිය යුතු වේ.

එහෙත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා කොටි සිදුකළ යුද අපරාධ 340 කට අධික සංඛ්‍යාවක්‌ ගැන නිහඬව සිටී. එසේම ජිනීවා යෝජනාවට මුල් වූ සාක්‍ෂිකරුවෝ කවුරුන්ද? ඒ බිහිසුණු අපරාධ සිදුකර මෙරටින් පැනගිය කොටි ත්‍රස්‌තයන් 50 කට අධික පිරිසකි. මේ පිරිස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ බොරු සාක්‌කි දී ඇත. එම සාක්‌කි මෙහෙයවා ඇත්තේ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකයි.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. සුමන්තිරන් ජිනීවා ගොස්‌ විදේශ තානාපතිවරු සහ මානව හිමිකම් කවුන්සලයේ නිලධාරීන් හමු වී ජිනීවා යෝජනාව සංශෝධනය කිරීමට හෝ කල් දැමීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා ඇත.

සුමන්තිරන්ගේ ඉල්ලීමට රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව හා ගෝලීය ද්‍රවිඩ සංසදය සහය දක්‌වා තිබේ. එහෙත් මෙරට බහුතර ජනතාව මේ සිදුවීම් ගැන නොදනී.

මෙම ජිනීවා යෝජනාව සංශෝධනය කිරීමට හෝ ඉවත් කර ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් හමුවීමට පවා විදේශ කටයුතූ අමාත්‍යාංශය ඉදිරිපත් වූයේ නැත.

රජයේ යාන්ත්‍රණය නිහඬව සිටියදී ජිනීවා ගිය ඊළාම් ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව විදේශ තානාපතිවරු හමුවේ බලපෑම් කිරීමට කටයුතු කර තිබේ.

එසේම සිය ඊළාම් ඩයස්‌පෝරාවේ හැකියාව පිළිබිඹු කිරීම සඳහා මාර්තු 3 දා ජිනීවා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්‌ දියත් කිරීමට ද කටයුතු කර ඇත.

මෙම තත්ත්වය බලා සිටීමට නොහැකිව ශ්‍රී ලංකා රජයේ සහයක්‌ නැතිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මාර්තු 22 දා එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ විරෝධතාවක්‌ ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර පසුගිය සඳුදා හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා මානව හිමිකම් සමුළුවට තවත් සාවද්‍ය වාර්තාවක්‌ ඉදිරිපත් කළාය. එහි දක්‌වා තිබුණේ ශ්‍රී ලංකා හමුදාව උතුරේ ස්‌ත්‍රී දූෂණ කඳවුරු පවත්වාගෙන යන බවයි.

ඇය මේ වාර්තාව ඉදිරිපත් කර තිබුණේ උතුරේ ස්‌ත්‍රී දූෂණ සිදු වූ බවට කිසිදු පොලිස්‌ පැමිණිල්ලකින් තොරවය.

එහෙත් ඇගේ වාර්තාව ද මානව හිමිකම් සමුළුව හමුවේ සාකච්ඡාවට ගැනීමට නියමිතය.

යස්‌මින් සුකා සිය වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා රජය පොරොන්දු වූ පරිදි ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කර නැති බවත් ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්‌කරණයට ලක්‌කර නැතැයි ද සඳහන් කර තිබේ.

මෙවර මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු කල්ලිය බලයෙන් විසිවී ඇත. ඒ ජිනීවාහි තානාපති කොයින් හාපර්, සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්‌වාල් සහ ටොච් ටලි ගෝමස්‌ කීය.

මොවුන් ශ්‍රී ලංකාව පිළිබඳ දැඩි පිළිවෙතක්‌ අනුගමනය කරනු ලැබීය. එහෙත් ලැබී ඇති වාසිසහගත තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියා කළේ නැත.

එවන් පසුබිමක්‌ මැද බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත් කරන යෝජනාවට අභියෝග කිරීමට ද ශ්‍රී ලංකාව ඉදිරිපත් වී නැත.

එහෙත් රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට නියෝජිතයන් යවා ශ්‍රී ලංකාවේ හමුදාව මිනීමරුවන් බවට පෙන්වීමට උත්සාහ කර ඇත.

ඊට ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ද ජිනීවා ගොස්‌ විදේශ තානාපතිවරුන් සහ මානව හිමිකම් සමුළු ප්‍රධානීන් හමුවී ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව කටයුතු කර තිබේ.

එහෙත් හිටපු කොටින්ගෙන් ආරක්‍ෂා වීම සඳහා ඔහු එම හමුදාවෙන්ම රැකවලුන් ලබාගෙන ඇත.

මෙම තත්ත්වය මත එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලින් හමුදාව බේරාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක්‌ දියත් වී නැත.

ඒ සඳහා කරුණු රැසක්‌ ඇත.
  • ඒ ඝාතනයට ලක්‌වූවෝ කවුරුන්ද සහ ඔවුන්ගේ නම් ගම් සහ පදිංචිව සිටින ස්‌ථාන කුමක්‌ද?
  • එසේම විදේශ රටවල් විසින් දේශපාලන රැකවරණ ලබාදී ඇති හිටපු කොටි ක්‍රියාකාරීන් කවුරුන්ද?
  • මේ හැර හමුදාවට එරෙහිව සාක්‌කි දෙන අබිරහස්‌ සාක්‌කිකරුවන් කවුරුන්ද?
මේ කරුණු ගැන මානව හිමිකම් සමුළුව හමුවේ අභියෝගයට ලක්‌කර නැත.

එසේම යුද අපරාධ චෝදනා එල්ල කරන පැමිණිලිකරුවන් කවුද? ඒ යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයි.

No comments:

Post a Comment